Wednesday, March 9, 2016

කොළඹ අගරදගුරු නිකලස් හිමිපාණෝ (Nicholas Marcus Fernando)


කොළඹ අගරදගුරු නිකලස් හිමිපාණෝ (Nicholas Marcus Fernando)

ජීවන තොරතුරු
‘පුංචි රෝමිය‘ නම් වූ මීගමුවේ මුන්නක්කරය ගම්මානයේ 1932 දෙසැම්බර් මස 06 වන දින දේව ධර්මාචාර්ය කුරුකුලසූරිය නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණෝ බිළිඳකුව උපන්නේය. එතුමාගේ පියා නැසීගිය කුරුකුලසූරිය විල්ප්‍රඩ් සෙවනේරිස් ප්‍රනාන්දු මහතා වූ අතර මව නැසීගිය කුරුකුලසූරිය ලිලී මේරි මාග්‍රට් ප්‍රනාන්දු මහත්මිය වූවාය.  පවුලේ ඔහු ඇතුළු දරුවන් අටදෙනකු විය. මෙතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ මුන්නක්කරයේ රෝමානු කතෝලික දෙමළ විදුහලෙනි. අනතුරුව 1942 දී ආගම දැනීම පරීක්‍ෂණයෙන් ප්‍රථමයා වීමෙන් පසු  මහවීදිය සාන්ත මරියා විදුහලට ඇතුළුව අධ්‍යාපනය ලැබීමට හැකි විය. එකල පූජකවරයට යාමේ කැමැත්තක් එතුමා තුළ හට ගත්තේය. මීසම් පාලකව සිටි ගරු සෙබස්තියන්තුමාගේ අනුදැනුම ඇතුව ඇතිව බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුලත්ව පූජකවරය ලබා ගැනීමට කටයුතු කළේය. පාසල් කාලයේ එතුමා අධ්‍යාපනය හා බාහිර කටයුතුවල එකසේ දක්‍ෂව නියැළුනේය. 1953 දී ලන්ඩන් (බී.ඒ.) උපාධිය සමත් වූයේද මේ දෙව්සත්හලේදීමය.
පසුව එතුමා 1953.08.29 දින සාන්ත බර්නාඩ් දෙව්සත්හලට ඇතුළු විය. එකල ඉංග්‍රීසි හා ලතින් භාෂාවද අමතරව ඉගෙන ගත්තේය. 1954 දී රෝමයේ ‘ප්‍රොපගැන්ඩෆඩ්‘ මිෂනාරි සරසවියේ උසස් අධ්‍යාපනය ලැබීමට ගියේය. මෙහිදී ලංකා පුස්තකාලයක් එහි ඇරඹීම, ලංකා ප්‍රදර්ශනයක් පැවැත්වීම ආදිය මෙතුමා අතින් සිදු විය. 1958.11.29 වන දින තුන්වන හා සිව්වන සුළුවරද, 1959.09.02 දින උපතේවාචාර්ය භාවයද ලද මෙතුමා 1959.12.26 දින කාදිනල් අගජිනියස්තුමන්ගේ අතින් පුජකවරය ලැබීය. ඒ විසිතුන්වන ජුවාමි පාප් තුමාගේ සමයයි. 1960 දී පෙරළා මෙහි පැමිණි බමිබලපිටිය සාන්ත පීතර විදුහලේ කථිකාචාර්ය ධූරයක්ද (1960-1963),බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙවිසත්හලේ භාණ්ඩාගාරික ධුරයද දැරීය (1963-1965). පසුව එතුමා එහි ගරු අධ්‍යක්ෂ පදවියටද පත් විය (1965-1972). මෙතුමාගේ ක්‍රීඩා කෞශල්‍යය නිසාමදෝ එකල ක්‍රීඩාවටද අතහිත දුන්නේය.
නිකලස් මාකස් හිමිපාණන් දේශිය රාජගුරු වංශයේ විය. 1977.03.30 වන දින මෙතුමා කොළඹ සත්වැනි අගරදගුරු ලෙස රෝමයේ හා ලංකාවේ ප්‍රකාශයට පත්විය. එසේ වීමට හේතුව වුයේ එතුමාගේ දක්ෂතාව, නායකත්ව හැකියාව,බොහෝ ගිහි පැවදි පිරිසක් ආශ්‍රය කර තිබීම ආදියයි. මෙකල ‘දයා සේවා‘ සංවිධානය හා ඊට  අනුබද්ධිත අරමුදලක් පිහිටුවිය. 1977.05.02 දින මෙතුමාගේ සිංහාරූඩ වීමේ දින ඔටුනු පැළදීමේ දිනය ලෙසද දැක්වේ. මෙය ඉතිහාසයේ ප්‍රථම වරට සිංහලයෙන් පැවති අභිසෙස් මෙහෙයයි. මාකස් අගරදගුරු පියාණෝ ප්‍රථම සිංහල පදවි පුජක අගරදගුරු තුමාණන් වුහ. රාජගුරු අභිෂේකය සිදුවුයේ කාදිනල් තෝමස් කුරේ උතුමාණන් අතිනි. මාකස් තුමාණන් තම ප්‍රථම නිල ගමන ලෙස වසමේ අනාගතය ගැන රැස්වීමක් 1977.06.14 දින හෙබවීමද කළේය.
බලය ජනතාව අතට දෙමින් කළ විමධ්‍යගත පාලනය ප්‍රශංසනීය වේ. එතුමාගේ ආදර්ශ පාඨය වුයේ ‘මෙත් සිතින් ඇත්ත කතා කිරීම‘ යන්නයි. අගරදගුරු ප්‍රථම පුජක කතිකාව 1977.12.05 දින සිට 1977.12.07 දින දක්වා සාන්ත ඇලොසියස් දෙව්සත් මැඳුරේදී පැවැත්විණ. මෙකල නව කමිටු පාලනයෙන් දිස්ත්‍රික් කමිටු 14ක්, දිසානායකවරු 14 දෙනෙක්, කිතුනු ඒකක, පූජක උත්තර මණ්ඩල ඇතිකළ එතුමා පළමු නත්තල් පූජාව කළුතරදී පැවැත්වීය. 1978 ජුනි මස  රෝමයේදී හයවන පාවුළු පාප් වහන්සේ හමුවිය. 1979 දී පෙරළා පැමිණි දිළිඳු පාසල් දරුවන් වෙනුවෙන්, දුගියන් වෙනුවෙන් වටිනා මෙහෙවරක් ඉටු කළේය. 1980.09.26 දින රෝමයේ පැවති ලෝක රදගුරු සමුළුවට මෙතුමා සහභාගි විය. 1980 කාලයේ මීසම් සභා අහෝසි කර නව ධර්ම සේවා කමිටු ඇතිකරන ලදි. ජාතිවාදි කෝලාහල සඳහා මැදි සිතින් ඔවදන් දුන්නේය. 1983.01.15 දින සිංහල ධර්ම නිකේතනය බිහිකළ අතර එහි කුලපති ධූරයද මෙතුමාට පැවරිණි.
දක්‍ෂ ලේඛකයකු වූ මාකස් තුමා ‘ප්‍රදීපයේ‘ ලිපි පළ කළ අතර නව සිංහල බයිබලය රචනා කිරීමට අනුබල දුන්නේය. 1984.01.14 දින නියෝගය පරිදි නිකලස් මාකස් හිමි දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියා විසින් ‘ජනතා ධර්ම දානය පිළිබඳ ශුද්ධ වූ නියෝජනයේ‘ නියෝජිතයකු කරවන ලදි. මෙතුමා කළ මෙහෙවරෙහි ‘මාර්ක් ශ්‍රී‘ වැඩ පිලිවෙලද වැදගත් වේ. 1989.05.07 දින ශ්‍රී ලංකා රද ගුරු මණ්ඩලයේ නව සභාපති ධූරයට පත්විය. කිතුනු බැතිමතුන්ට මෙතුමා විසින් කරන ලද සේවය ඉමහත්ය.

ඇස්. මහින්ද හිමි (S.Mahinda Himi)


ඇස්. මහින්ද හිමි (S.Mahinda Himi)

ජීවන තොරතුරු

ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියන් අපේ ජාතික වීරවරයකු ලෙස කිරුළු දරන්නේ අවිචාරවත් යුගයක සිංහලයන් වල්මත් වූවන් සේ හැසිරෙත්දී ජාතියට සිදුවන්නට යන විපත අවබෝධ කරගෙන අභිමානවත් ජාතියක් යළි ඇති කිරීමට මහත් උත්සාහයෙන් කටයුතු කළ නිසාය. වර්ෂ 1901 ටිබෙට් දේශයේ ‘සිකිම්‘ යන ප්‍ර‍දේශයේදී එතුමා උපත ලැබීය. ගිහි ජීවිතයේදී ඇස්.කේ. තෂ්නිම්ගල් නම් වූ ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ එවකට පැවිදි භාවය ලබා සිටි තම වැඩිමහල් සොහොයුරා සමඟයි. ශ්‍රී ලංකාවට පැමිණි එතුමා මාළිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන්හි ශාස්ත්‍ර ඥානයෙන් පෝෂණය වූයේය. එහිදී පාළි හා සංස්කෘත භාෂා හදාරා ලබා ගත් භාෂා නෛපුන්‍යය උපයෝගි කොටගෙන එතුමා මහත් සේවාවක් ලක්දිව සාහිත්‍යය වෙනුවෙන් ඉටු කළේය. ඉංග්‍රීසින්ගේ ආධිපත්‍යය යටතේ මහත් පරාධීන හැඟීම් වලින් මැඬෙමින් සිටි සිංහලයාගේ ජාත්‍යානුරාගය නංවාලීම උදෙසා ඇස්. මහින්ද හිමියන් අතින් රචනා වුණු කවි පන්ති, ‍පොත් පත් සහ විවිධ ලිපි ලේඛන ආදිය අතිමහත්ය.
නිදාසිටි සිංහලයා ජාත්‍යානුරාගයෙන් මත් කොට අවදි කර ලීමට මහින්ද හිමියන්ගේ පෑන් තුඩ මෙහෙයවුණු ආකාරයට නිදසුනක් පහත දැක්වේ.
මොන කරුමය ද තව ඇහැරුණු බවක්       නැහැ
පැන පැන බියව මුළු වැදුමෙන් පලක්         නැහැ
දිනුමත් පැරදුමත් කෝකත් කමක්             නැහැ
එනු ඉදිරියට පැන ගොස් නිදහසක්             නැහැ
පරාධීනව සිටි සිංහල ජාතිය පුබුදුවාලීමේ මහඟු කර්තව්‍යයට උර දෙමින් කටයුතු කළ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් තුළින් උපතින් විදේශිකයකු වුවද සැබෑ සිංහලයකු සතු ගති ලක්ෂණ මොනවට විද්‍යමාන විය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි (Hikkaduwe Sri Sumangala Himi)

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි (Hikkaduwe Sri Sumangala Himi)

ජීවන තොරතුරු
සුමංගල හිමියෝ 1827 වසරේ ජනවාරි මස 20 වෙනිදා හික්කඩුවේදී උපත ලැබූහ. මුලින්ම උන්වහන්සේ පන්නම්ගොඩ පේගුත්තර හිමියන්ගෙන් සිංහල සහ පාලි ඉගෙන ගත්හ. ඉන් අනතුරුව වලානේ සිද්ධාර්ථ හිමියන් ඇසුරෙහි අකුරු කළහ. එසේම කසීනාථ නමැති බමුණු පඬිවරයකුගෙන් සංස්කෘත, තර්ක ශාස්ත්‍රය සහ නක්ෂත්‍රය ආදිය ඉගෙන ගත්හ.
සුමංගල හිමියන් උපසම්පදාව ලද්දේ මහනුවරදීය. ඉංශ්‍රීසි,ප්‍රංශ,දෙමළ, රුසියන් වැනි භාෂා කිහිපයක් පිළිබඳවම හසල දැනුමක් ඇතිව සිටි එතුමෝ පාලි බස උගත් ධර්මධර, වියත් හිමිනමක් වූහ. බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගත් උන්වහන්සේ පිරිවෙනක්ද ආරම්භ කළහ. එය “විද්‍යෝදය“ පිරිවෙන ලෙස හැඳින්වෙන අතර,ථෙරවාදි බුදු දහම පැතිරවීමට එම පිරිවෙන මහඟු තෝතැන්නක් විය. සරසවි සඳරැස, ලංකාලෝකය, වැනි පත්‍ර සඟරා ආරම්භ කිරීමටද උන්වහන්සේගෙන් අනුශාසනා ලැබුණි. විශාල ගෝල පිරිසක් බිහිකළ සුමංගල හිමියෝ බුදු දහම ජනතා හදවත් තුළ තව දුරටත් පෝෂණය කොට වැඩි දියුණු කිරීමට හැම විටම උත්සාහ ගත්හ.
උන්වහන්සේ අතින් ඉටුවුණු විවිධ ක්‍රියාකාර වලින් මෙන්ම එතුමන් විසින් සිංහල සාහිත්‍යයට තිලිණ කරන ලද පාලි, සිංහල, සංස්කෘත ග්‍රන්ථ සහ ගාථා හා ශ්ලෝක තුළින්ද දෙස, බස, රැස රැකගැනීමෙහිලා ඉටු වූ සේවය අතිමහත්ය. නැණ නුවණින් මෙන්ම දයානුකම්පිත හදවතකින්ද හෙමි සුමංගල හිමියෝ 1911 වසරේ අප්‍රේල් 29 දා අවුරුදු 84ක් ආයු වළඳා අපවත් වූහ.
නිර්මාණ
බෞද්ධ ග්‍රන්ථ
බ්‍රහ්ම ධර්මය, වර්ණ රීති(1873), මාසාර්තු ලක්ෂණ(1858), වර්ණ රීති(1873), පාලි මහා වංසය සිංහලට පරිවර්තනය කිරීම
රචනා කරන ලද පද්‍ය කෘති
සිදත් සඟරා සන්නසය, කාව්‍ය ශේඛර සන්නසය
රචනා කරන ලද පාලි ග්‍රන්ථ
බාලාවතාර ටිකාව, පාලි නාමපද මාලාව

රේරුකානේ චන්ද්‍රවිමල මහ නා හිමියෝ (Rerukane Chandawimala Himi)

රේරුකානේ චන්ද්‍රවිමල මහ නා හිමියෝ (Rerukane Chandawimala Himi)

ජීවන තොරතුරු
රේරුකානේ චන්ද්‍රවිමල මහ නා හිමියෝ 1897 ජුලි මස 17 වන දින රයිගමි කෝරළයේ රේරුකාන නමි ග්‍රාමයේදී උපත ලැබුහ. උන් වහන්සේගේ පියා දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන මහතා වන අතර මව මුණසිංහගේ පොඩිනෝනා මහත්මියයි. පාසලේ දෙවන වසරට පමණක් අධ්‍යාපනය හැදැරූ මේ පුංචි දරුවා 1906 ජනවාරි මස 08 වන දින බුරුම ජාතික විනයාලාංකාර හිමියන් යටතේ පැවිදි දිවියට පත්විය.
අනතුරුව 1908 ජනවාරි මස 27 වන දින පළමු වරට බුරුමයට වැඩම කළහ. මහත් වැර වෑයමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන අතරම උන්වහන්සේ 1917 ඔක්තෝමිබර් මස 26 වන දින බුරුම රටේ ධමිමිකාරාම සීමාවේ දී අධිශීල සංඛ්‍යා උපසමිපදාව ලැබුහ.
පසු කලෙක බුරුමයේ සිට නැවත ලක්දිවට වැඩමකළ උන්වහන්සේ දෙමටගෙඩ මහා විසුද්ධාරාම විහාරයේ වැඩවාසය කරමින් ලක්වැසියන් හට බොඳු මඟ කියාදෙමින් සහ බෞද්ධ ග්‍රන්ථකරණයේ යෙදෙමින් උදාර හා සමාජීය මෙ‍හෙවරක් ඉටු කළහ.
නිර්මාණ
රේරුකානේ චන්ද්‍රවිමල හිමියන් විසින් රචිත ග්‍රන්ථ
  • පටිචිච සමුප්පාද විවරණය
  • පාරමිතා ප්‍රකරණය
  • විනය කර්ම
  • සුවිසි මහ ගුණය
  • සතිපටිඨාන භාවනා විවේචනය
  • ශාසනාවතරණය
  • පටිඨාන මහා ප්‍රකාරණ සන්නය
  • අභිධර්මයේ මුලික කරුණ්
  • වත්තලිසාකාර විපස්සනා භාවනා
  • බෞද්ධයාගේ අත්පොත
  • පුණ්‍යෝපදේශය
  • මංගල ධර්ම විස්තරය
  • මංචක ධර්ම පොත
  • බුද්ධ නීති සංග්‍රහය
  • බෝධි පාක්ෂික ධර්ම විස්තරය
චන්දවිමලසිංහ හිමියන් ලැබු උපාධි සහ සම්මාන-
  • ප්‍රාචීන භාෂෝපකාර සමිමාන පණ්ඩිත උපාධිය
  • අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවිය
  • 1963 වසරේදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ලැබු සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය
  • 1976 වසරේදී ලැබු ශ්‍රි ලංකා ශ්වෙජින් නිකායේ මහානායක පදවිය
  • අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ලැබු ප්‍රාවවන පදවිය

රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි (Sri Dharmarama Himi)


රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි (Sri Dharmarama Himi)

ජීවන තොරතුරු
උන්වහන්සේ උපත ලැබුවේ 1853 වර්ෂයේදීය.රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක හිමියන්ගේ ප්‍රධාන ගෝල හිමිනම වූයේ මෙතුමායි.1875 වර්ෂයේදී ධර්මාලෝක හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීමෙන් පසු මේ ශිෂ්‍ය හිමිනමට එහි අධ්‍යාපන ලැබීමට හැකිවිය. ධර්මාරාම හිමියෝ සිංහල, පාලි, සහ සංස්කෘත භාෂාවන් උගැන්මෙහි මහත් දක්ෂතාවයක් දැක් වූ අතර පසු කලෙක ඒ පිළිබඳව මනා දැනුමක් ඇති බහුශ්‍රැත පඬිරුවනක් වූහ.
මහත් ඕනෑකමින් ශාසනාක හා සමාජීය මෙහෙවරක නියැළුණු උන්වහන්සේට පසු කලෙක කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක පදවිය, මල්වතු පාර්ශවීය සංඝ සභාව විසින් පිරිනමන ලදි. බෞද්ධ භික්ෂුවක තුළ නිතැතින්ම තිබිය යුතු අවිහිංසකත්වය, සංවරශීලී භාවය, චාම් පැවතුම් සහ විනය ගරුකත්වය එතුමන් තුළ පැහැදිලිව දක්නට ලැබුණි.
1915 වර්ෂයේ දී උද්ගත වූ සිංහල, මුස්ලිම් ගැටුම් සම්බන්ධයෙන් ධර්මාරාම හිමියෝ මහත් සේ කම්පා වූහ. එහිදී සිරභාරයට ගත් ඇතැම් සිංහල ජන නායකයන් එලෙස සිරභාරයේ රඳවා තබා ගැනීම අසාධාරණ බැව්, එවකට ලක්දිව අග්‍රාණ්ඩුකාර ධූරය දැරූ සර් රොබට් වාර්ම්ස් සාමිවරයාට උන්වහන්සේ මැදිහත් වෙමින් පෙන්වා දුන්හ.
මේ අනුව සලකා බැලීමේදී ධර්මධරත්වය, පැසුණු බුද්ධිය, සුපේශල ශික්ෂාකාමිත්වය, අදීනත්වය සහ දේශනුරාගය ආදී සෑම අංශයකින්ම ශ්‍රී ධර්මාරාම හිමියන් තුළ පැවති වීර චරිත ලක්ෂණ මනාව ඉස්මතු වෙයි.
ශ්‍රී ධර්මාරාම හිමියන් අතින් රචිත ග්‍රන්ථ
  • මොග්ගල්ලාන පංචිකා ප්‍රදීපය
  • සිදත් සඟරා සන්නය
  • මහා‍ බෝධි වංශ ගැට පද විවරණය
එතුමන්  සංස්කරණය කළ ග්‍රන්ථ
  • හංස සහ සැළලිහිණි සංදේශය
  • කාව්‍ය ශේඛරය